Showing posts with label Books. Show all posts
Showing posts with label Books. Show all posts

Monday, May 28, 2012

"හඬ" ගුවන් විදුලි ශ්‍රව්‍ය මාධ්‍යයේ මුද්‍රිත හඬ

"හඬ" ගුවන් විදුලි ශ්‍රව්‍ය මාධ්‍යයේ මුද්‍රිත
හඬ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්

"හඬ" ගුවන් විදුලි ශ්‍රව්‍ය මාධ්‍යයේ මුද්‍රිත
හඬ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්

සෙත් පිරිතෙන් මුළු රටම අවදිකොට කරණීය මෙත්ත සූත්‍රයෙන් සකල ලෝක සත්වයාට මෙත් වඩා නින්දට යන ජනතාවක්‌ බිහි කළේ අපේ ජාතික ගුවන් විදුලියයි. සතර පෝයට ධර්ම දේශනා හතරක්‌ ප්‍රචාරය කිරීම ආරම්භ කළේ 1929 සිටමය. 1934 මහනුවර දළදා පෙරහැර පිළිබඳ විස්‌තර ප්‍රකාශයක්‌ තැටිගත කර ප්‍රචාරය කළ අතර 1939 නොවැම්බර් 23 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහසෑයේ කොත්පැළඳවීමේ මහෝත්සවය විස්‌තර ප්‍රචාරය කරන ලද්දේ මහාචාර්ය ගුණපාල මලලසේකර හා ලීලානන්ද කල්දේරා විසිනි. 1947 ජාතික කෞතුකාගාරයේ පැවැති අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය විස්‌තර ප්‍රචාරය කරන ලද්දේද ලීලානන්ද කල්දේරා විසිනි. එමෙන්ම 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් 1954 සිටම විවිධ වැඩසටහන් පෙළගැස්‌විණි.
1956 දී අධි තරංගමාලා භාවිතයෙන් ශ්‍රී පාදස්‌ථානයේ සිට විශේෂ වැඩසටහනක්‌ද 1957 දී සමස්‌ත ඉන්දීය ගුවන් විදුලියේ අනුග්‍රහයෙන් බුද්ධගයාවේ සිට එක එල්ලේ බුද්ධ ජයන්ති වැඩ සටහනද ප්‍රචාරය කිරීමට අපේ ජාතික ගුවන් විදුලිය සමත් විය. 1956 දී විජිතනන්ද මැණික්‌ දිවෙල මහතා ආගමික වැඩසටහන් සහකාර ලෙස පත්කිරීමෙන් පසු බෝසත් ළමා ළපැටියෝ, රේඩියෝ දහම් පාසල, දම්සභා මණ්‌ඩපය ඇතුළු වැඩසටහන්ද සුවිශේෂ ආගමික උත්සව කටයුතු විස්‌තර ප්‍රචාරය සඳහා අනුග්‍රහයද සෙසු ආගම්වලට අයත් විවිධ වැඩ සටහන් වලටද ගුවන් විදුලිය එකසේ දායකත්වය ලබා දුන්නේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ "අගනා" නිල ප්‍රකාශනය වන හඬ සඟරාවේ මෙවර කලාපය මුළුමනින්ම වෙන්කර ඇත්තේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙනි. එහි එන කතුවැකියෙන් බිඳක්‌ මෙහි පළමුව පළ කරමු. "අගනා" යන වදන අපි මෙම හඬ සඟරාව සඳහා භාවිත කරනුයේ එපමණටම පෙර කලාප මෙන්ම මෙවර හඬ කලාපයද සුවිශේෂ වූ ලිපි සමුච්චයකින් සංගෘහිත වීම නිසාය. "හඬ" සඟරාව අප අතීතයටත් වර්තමානයටත් අනාගතය දකින්නටත් මග පෙන්වන පුංචි කැඩපතක්‌ බඳුය. අනගාරික ධර්මපාලතුමා 1925 දී ඇමරිකාවේ නිව්යෝර්ක්‌ හිදී පවත්වන ලද දේශනය සම්බුද්ධ වචනයෙන්ද බෞද්ධාගමේ ආධ්‍යාත්මික හරය (ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර) නූතන ධර්මදේශනා ආකෘතිය ගුවන් විදුලියේ නිර්මාණයකි (ආචාර්ය රාජා ධර්මපාල) බුදු සමය ලෝක ආගමක්‌ද (මහාචාර්ය වල්පොල රාහුල හිමි) මගේ ආගම කතෝලික - සංස්‌කෘතිය බෞද්ධ මර්සලීනු ජයකොඩි පියතුමා කළ සඳහන (සෝමසිරි කස්‌තුරිආරච්චි.
ඒවං මේ සුතං (මහාචාර්ය ජේ. බී. දිසානායක) නුවණැස පහළවේවා (කොස්‌ගොඩ සිරි සුධම්ම හිමි) හා ආචාර්ය අජන්තා රණසිංහ කැත්ලීන් ජයවර්ධන ඇතුළු වියත් ලේඛකයන් ලියූ වටිනා ලිපිද 1934 මහනුවර ඇසළ පෙරහැර පිළිබඳ ප්‍රථම බොදු විස්‌තර ප්‍රචාරය (එස්‌. ලියනගේ විසින් සැකසුණු) මෙරට ප්‍රථමවරට සඟරාවකින් එළිදකින බෞද්ධ ගීත ඒවා ගැයූ හා ගායක ගායිකාවන්ගේ නාමාවලින් ද මෙහි ඇතුළත් තවත් වටිනා ලිපි දෙකක එමෙන්ම ඉතා විරල පැරණි ඡායාරූප රාශියකින්ද යුක්‌ත "හඬ" මෙම පාඨක විචාරක මෙන්ම විද්වතුන්ගේද අවධානයට පාත්‍රවිය යුතු යෑයි කිව යුතුය. ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා උපදේශක ලෙසත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්‌ඩාර ප්‍රධාන සංස්‌කාර ලෙසත් කුමාරදාස සපුතන්ත්‍රීගේ අධීක්‍ෂණයෙන්ද යුත් "හඬ" මෙවර කවරය සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් සැරසී තිබේ. 0112697497 වෙතින් හඬ පිළිබඳ ඔබට දැනගත හැකිය. "හඬ" හි එන අනගි කවර නිර්මාණය පිටු සැකසුම් ප්‍රේම් දිසානායකයන්ගේ ෆස්‌ට්‌ ඇඩ්ස්‌ (ප්‍රයිවට්‌ ලිමිටඩ්) වෙතින් වීමද සඳහන් කළ යුත්තකි. සංස්‌කාරක හඬ සඟරාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව කොළඹ 7 වෙත "හඬ" ට ඔබේ හඬ යොමු කළ හැකිය.

-
නාරද නිශ්ශංක - Divayina
 

ගුවන් විදුලි මාධ්‍යයට ලිවීම



Radio Station.jpg
නිමේෂයකින් ඇසී නෑසී යන ගුවන් විදුලි ප්‍රකාශනය වූ කලී වහා වටහා ගැන්මේ ලක්ෂණයෙන් සමන්විත වූවකි.ඵබැවින් මෙම ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ රටාව අනෙකුත් ලිඛිත ව්‍යවහාරයන්ට වඩා අමුතු මගක් ගත යුත්තේය.නැවුම් ගතියකින් යුක්ත විය යුත්තේය.සවන පිනවන සුළු විය යුත්‍‍තේය.එය වඩ වඩා සරල,සුගම,ළගන්නා සුළු විය යුත්‍‍තේය.පුවත් පතකට වාර්තාවක් ලියනා අයුරින් ගුවන් විදුලියට ලිවීම නොකළ යුත්තකි.මන්ද?යත් ගුවන් විදුලි පිටපතක් රචනා කරනුයේ අසන්නා වෙත කියවන්නට වීමය.නිවේදකයා එය කථන ක්‍රමයෙන් හෝ ගායනා ක්‍රමයකින් කියවයි.එම ක්‍රමයට උචිත පරිදි ලියැවී තිබීම වැදගත්ය. "ගුවන් විදුලි රචනාවේදී ගරු කළ යුතු රත්රන් නීතිය වනුයේ රචනයට පෙර එය කියා බලන්න" යනුවෙන් මයිකල් කේ. සහ ඇන්ඩෲ ප්‍රොපර්වෙල් යන මාධ්‍යවේදිහු පවසා ඇත.මෙයට හේතුව පිටපතක ලියැවෙන දෙය නිවේදකයාට අපහසුතාවයෙන් තොරව කියවා ගෙන යෑමට හැකි විය යුතු වීමය.

ගුවන් විදුලියට ලිවීමේදී අවධානය යොමු කළ යුතු කරුණු 04කි.

01.එය කථා කිරීම සඳහාය.
(සාහිත්‍යමය රචනාවක් විලස නොව භාෂා විලාසයේ පවතින දෙයක් වීමය.)
02.එය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ඉදිරිපත් කරන්නකි.
(සංවාදාත්මක ස්වරූපයක්,සුහද බවක් අන්තර්ගත විය යුතු විමය.)
03.එය අසන මාධ්‍යයකි.
(එක් වරක් පමණක් ඇසෙන මාධ්‍යයක් වන හෙයින් එක් ශ්‍රවණයකදී තේරුම් ගත හැකි පරිදි ලිවීමද සරල,කෙටි වාක්‍ය යෙදීමද වැදගත්ය.)
04.ශබ්දය ආත්මය කොට ගත් මාධ්‍යයකි.
(ගුවන් විදුලියේ ශබ්දය පමණක් පවතින නිසා ශබ්දය ඇසුරෙන් සහෘදයාට ‍තේරුම් ගත හැකි පරිදි ලිවීමය.)

ගුවන් විදුලි බස හැකිතාක් සරල වන පරිදි ලිවීම වැදගත්.ලියන වාක්‍ය අවුල් සහගත නොවිය යුතු අතර උච්චාරණය කිරීමට පහසු වන ආකාරයේ වචන වලින් ලිවිය යුතුයි.අර්ථය සෙවීමට ශ්‍රාවකයා වෙහෙසවන සුළු බරපතල වාක්‍ය නොලිය යුතු අතරම කර්තෘ කාරක වාක්‍ය යෙදීම වැදගත් වේ.ගුවන් විදුලි ප්‍රවෘත්ති තුළ පවතින ආධිපත්‍යමය බලය රැකෙන පරිදි ලිවිය යුතුයි.තනතුරු නාමයන්ට කෙටි නම් භාවිත නොකරයි. ගුවන් විදුලි පිටපත් තුළ සංඛ්‍යා ලිවීමේදී 1-9 දක්වා සංඛ්‍යා අකුරෙන් ලියන අතර 10-999 දක්වා ඉලක්කමෙන් ලියයි.ඊට වැඩි සංඛ්‍යා අකුරු ඉලක්කම් දෙකම භාවිත කරයි.
උදා‍:29785- 29 දහස් 785
රුපියල් 20 දහස් 270 ශත 50

එක් පිටුවක් එක් ප්‍රවෘත්තියක් සඳහා වෙන් කරන අතර ඊට වැඩි නම් More යනුවෙන් ලියයි. මෙසේ කරනුයේ නිවේදකයාගේ පහසුව උදෙසාය.ගුවන් විදුලි කථා බහකදී අත්‍යාවශ්‍ය නැති වේලාවකදී සංඛ්‍යා ඉදිරිපත් කිරීමේදී ආසන්න ලෙස කීම වටී.මන්ද?යත් කනට එක වරකට තොරතුරු රැසක් ග්‍රහණය කර ගත නොහැකි නිසාය.සංඛ්‍යා අවශ්‍යම නම් පූර්ණ ගණනක් කියන්න.අසන්නාට නැවත මේ කරුණට සවන්දීමටද නොහැකිය.ගුවන් විදුලි රචනයේදී ලිඛිත හා කථන භාෂා අතර බසක් යොදා ගැ‍නේ.අවසාන ක්‍රියාව කථනයට හරවයි.පහසුවෙන් කියවිය යුතුය.එසේම මධ්‍යම පුරුෂ ඒක වචනයෙන් "ඔබ" යනුවෙන් ඇමතිය යුතුය.පිටපත් රචකයා තමා ලියන විෂය පිළිබඳ මනා දැනුමැති අයෙක් විය යුතුය.එසේම ගුවන් විදුලි භාෂාවේ ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.

ගුවන් විදුලි පිටපත් රචනා කරනුයේ අරමුණු ද්විත්වයකිනි.
.ග්‍රාහකයා තුළ සැහැල්ලුවක් ඇති කිරීම.
(එදිනෙදා ජීවිතයේ දැඩි අසහනකාරී ඒකාකාරිත්වයෙන් මිදීමට)
.ජීවිතාවබෝධයක් ලබා දීම.
(ග්‍රාහකයා ප්‍රඥාවට පත්කිරීම අරමුණු කර ගනී.මිත්‍යාව තුළ සිර කළ මිනිසා ඉන් මුදවාගෙන ඔහුගේ චින්තනය අවධි කරයි.

පිටපත් රචකයා ග්‍රාහකයාගේ පරිකල්පනය අවධි කළ යුතුවාක් මෙන්ම තමා අරමුණු කර ගත් කණ්ඩායම මනාව අවබෝධ කර ගෙන ඔවුන්ට උචිත ලෙස ආමන්ත්‍රණය කළ යුතුය.වැඩසටහනට ඉලක්ක වූ ග්‍රාහක පිරිසට අනුව භාෂා ශෛලියද වෙනස් කළ යුතුවේ.
උදා:ළමා වැඩසටහන්,ශාස්ත්‍රිය වැඩසටහන්

රචනය අතරතතුරේදී ඒකාකාරිත්වයෙන් මිදෙනු පිණිස භාෂා ශෛලියේ සහ වදන් රටාවේ වෙනස් කම් සිදු කළ යුත්තේ ශ්‍රාවකයාට වඩා ආකර්ෂණය වනු පිණිසය.රචකයා තමාගේ පිටපත තුළ අභෞව්‍ය දේ අන්තර්ගත නොකළ යුතුය.BBC ලෝක සේවාවේ මයිකල් කේ. ගේ ශිෂ්‍යාවක් තම ප්‍රථම ගුවන් විදුලි කථාවේ මාතෘකාව ලෙස තෝරා ගත්තේ දරු උපතයි.ඇගේ කථාව ඇසූ සියලු දෙනා සිනාසුනහ.ශිල්ප ධර්ම භාවිතය එක්තරා ප්‍රමාණයකට අවශ්‍යය.එහෙත් අත්‍යාවශ්‍යය වනුයේ සත්‍යයට ළං වීමයි.ළමයින් උදෙසා යම් තරමක අභෞව්‍යමය දෙයක් යොදා ගත්තද එය හිතකර වීම වැදගත්ය. උචිත බැවහර යොදා ගත යුතුවාක් මෙන්ම ආරම්භය ආකර්ෂණීය විය යුතුය.එවිටය ග්‍රාහකයා ජය ගත හැකි වනුයේ.මෙලෙස ලබා ගත් අවධානය දිගටම රඳවා ගැනීමට පිටපත සමත් විය යුතුය.ග්‍රාහක මනස ගිනි පුපුරක් ‍සේ අවධි කරවීමට ගුවන් විදුලි බසට හැකියාව ඇත.රචකයා ගුවන් විදුලි ආකෘතියට ගැලපෙන පරිදි ලිවීම අත්‍යාවශ්‍යය වේ.මාධ්‍යයට ලිවීමේදී
*නිරවද්‍යතාවය
*පැහැදිලිතාවය
*සංක්ෂිප්ත භාවය
ආරක්ෂා කළ යුතුය.

ගුවන් විදුලි රචනයේදී අනවශ්‍යය වර්ණනාවලින් තොර විය යුතු අතරම අනවශ්‍යය නිපාත,උපසර්ග,අව්‍ය පද,වි‍ශේෂණ පද,පුනරුක්ති,අතිශයෝක්ති ආදියෙන් වැලකී සිටීමද වැදගත්ය.එසේම හැඟීම්බර ලෙස නොලිවිය යුතු අතරම මධ්‍යස්ථභාවය රැක ගත යුතුය.කිසිවෙකුටත් අපහාස නොකළ යුතුයි. පිටපත මගින් කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට හානි නොවිය යුතුය.අයෝග්‍ය දේවල් නොලිවිය යුතුය.ජන මාධ්‍යය සම්බන්ධ නීති පිළිගනිමින් ඒවාට යටත්ව තම කාර්යය ඉටු කළ යුතුය.සමහර අවස්ථාවල සමහර කරුණු කෙරේ ස්වයං වාරණ ඇති කර ගැන්මටද සිදු වේ.ආචාර ධර්ම පිළිබඳ හොඳ අවබෝධයක් පිටපත් රචකයාට අවශ්‍යය වේ.සබ්ජුඩ්සේ සිද්ධාන්තයට අනුව අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධ සියළුම තොරතුරු හෙළි කළ නොහැක.
1.පාර්ශව කරුවන්ට බලපෑමක් වන්නට ලිවිය නොහැක.
2.සාක්ෂි කරුවන්ට බලපෑමක් වන්නට ලිවිය නොහැක.
3.විනිශ්චය කරුවන්ට හා අධිකරණයට බලපෑමක් වන සේ ලිවිය නොහැක.
මෙයින් අදහස් කරන්නේ තීන්දුවට බලපෑම් වන කිසිවක් ලිවීමට අවසර නැති බවයි.මීට අමතරව දණ්ඩ නීති සංග්‍රහය,රැඟුම් පාලක මණ්ඩලය,අපහාස නීතිය වැනි දේ උල්ලංඝනය නොකළ යුතුය.මේ සම්බන්ධයෙන් ලිවිය හැකි යහපත් දේ සඳහා ඉඩ ඇත.

ගුවන් විදුලි වාර්තාකරණයේදී
*ඉදිරිපත් කරන කරුණු සත්‍ය විය යුතු අතර සත්‍ය බව ඔප්පු කිරීමට සාක්ෂි තිබිය යුතුය.
*යම් කරුණක් හෙළි නොකර සිටීමෙන් රටට ජනතාවට හානියක් වන බව ඔප්පු කළ යුතුය.
*හොඳ හැඟීමෙන්,ද්වේෂයෙන් තොරව,සද්භාවයෙන් වාර්තා කළ යුතුය.'
මේ අනුව ගුවන් විදුලි රචනයේදී අපක්ෂපාතී,තැන්පත්, ඉවසිලි සහිත, සියල්ලෙන්ම ඈත් වූ ආකල්පයක් අවශ්‍යය වන අතර භාවමය ප්‍රකාශන අනවශ්‍ය වේ.සියල්ලටම අවසානයේ එය කියවිය හැකි එකක්දැයි බැලීම වටනේය.

"ගුවන් විදුලි මාධ්‍යය යනු....", 
 මහාචාර්ය තිස්ස කාරියවසම්,
S ගොඩගේ සහ සහෝදරයෝ,
675,
P ද S කුලරත්න මාවත, 
කොළඹ 10.


Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Indunil Jayawardhana | Bloggerized by S.L.B.C. Training Institute - ABC | 123, ABC