Friday, April 20, 2012

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්තකාලය

 














පසුකාලීනව කොළඹින් ඔබ අමතන්නට වූ ගුවන් විදුලිය හරහා විවිධ ගී රස වින්දනයට ගී තැටි වලින් ලද පහස අපමණය. ගුවන් විදුලි ගී තැටි පුස්තකාලය තුළ අදටත් එදා අප ගැයූ රස විඳි ගීත රාශියක් වෙයි. පෙර සේම මෙම ගී යළිත් අපට අසන්නට සලස් වන්නට මේ පැරැණි ගී තැටි සංරක්ෂණය කිරීම ඇරඹී තිබෙන බව පසුගියදා අපට අසන්නටත් දකින්නටත් ඉඩකඩ සැලසුණි.

මේ සටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අපට රැක දුන් ඒ අමරණීය ගීත එක් රැස් කොට තිබෙන සිංහල තැටි පටි පුස්තකාලය පිළිබඳවයි.

සාමාන්‍යයෙන් ඔබ අප වැඩි දෙනෙක් මෙම ගීත තැටි පටි අඩංගු පුස්තකාලය පිළිබඳව දැන සිටියේ තැටි ගබඩාව ලෙස වුවත් මෙහි සිදු කෙරෙන කාර්යභාරය පිළිබඳව විමසා බලන විට එය ගබඩාවක් ලෙස පමණක් හැඳීන්වීම සාධාරණ නොවන බව අපට වැටහුණේ එහි පුස්තකාලාධිපති සමඟ කළ කතා බහේදියි.

‘සාමාන්‍යයෙන් ගබඩාව කියන්නේ ගබඩා කරන ස්ථානයක් විතරයි. නමුත් ඊට වඩා කාර්ය භාරයක් මෙම ගීත තැටි පටි සංරක්ෂණ කාර්ය තුළ සිදු කෙරෙනවා. මෙය ගුවන් විදුලි තැටි ගබඩාව නොව සිංහල තැටි පටි පුස්තකාලය වශයෙන් නිවැරැදි විය යුතුයි.

අපි මෙහි මැදිරි කීපයක් වෙත පිවිසුනෙමු. බැලූ බැලූ අත අපට දිස් වන්නේ මුල් කාලයේ සිටම ගුවන් විදුලි පැරැණි ගී තැටි පටි ස්ථානගත කර ඇති ආකාරයයි. පැරැණි ගී තැටි පනස් දාහකටත් අධික සංඛ්‍යාවක් එහි ඇති බව අපට දැනගන්නට ලැබුණි.

ගුවන් විදුලි පැරැණි ඉතිහාසයක් ඇති ගීත තැටි, ග්‍රැමපෝන් තැටි අප ඉදිරියේ වෙයි. 1940 දශකයේ මුල්ම ගීතය ඇතුළත් ගී තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින්. එහි විශ්කම්භය අඟල් 16 කි. එයින් පසු ආ තැටි නිකුත් වී තිබෙන්නේ ඇළුමිනියම් වලිනි.

මෙහි එක් පැත්තක ගීත 2 බැගින් ඇත. සාමාන්‍යයෙන් තැටියක් වාදනය වන්නේ පිටත සිට ඇතුළතට වුවත් මෙම තැටි වාදනය සිදු වන්නේ ඇතුළත සිට පිටතටය. මින් පසුව ආවේ ග්‍රැමපෝන් තැටියයි.

ඒ කාලේ ඉඳලම තිබෙන තැටි අප සතුව තිබෙනවා. නමුත් මෙම ගී තැටි අවුරුදු ගණනාවක් භාවිත කර තිබෙන නිසා එය වාදනය කිරීමේදී එතුළින් යම් යම් ශබ්ද නැගෙනවා. එය ගීතයේ රස වින්දනයට බාධාවක්. සමහර තැටි භාවිත කළ නොහැකි තරමටම පරණයි.

මේ නිසා අප මෙම තැටිවල අඩංගු ගීත ෆිල්ටර් කිරීමක් කරලා(පිරිපහදු කිරීම) සංයුක්ත තැටිවලට ලබා ගැන්ම සිදු කෙරෙමින් පවතිනවා. අප ඒ ආකාරයෙන් ගීත දහස් ගණනක් C D වලට ගෙන තිබෙනවා. මෙම කාර්යය සඳහා අපේ සංරක්ෂණාගාරයක් තිබෙනවා. මෙහි දී සිදු කෙරෙන්නේ එම පැරැණි ගීත ෆිල්ටර් කිරීමක් කර සංරක්ෂණය කිරීම සඳහා ගබඩා කර තැබීමයි.

අපේ පැරැණි ගායන ශිල්පීන් ගායනා කළ ගීත දැන් නව සංගීත රටාවන් එක්ක නැවත නිෂ්පාදනය කර වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති බව අපට දක්නට ලැබෙනවා. නමුත් ඒ වගේ ගීත ප්‍රචාරය කිරීම අප පුළුවන් තරම් අඩු කර තිබෙනවා. මොකද එය ප්‍රතිපත්ති රැකීමක්. අනෙක් පැත්තෙන් මුල් ගායන ශිල්පීන්ට කරන අසාධාරණයක්. මෙය පිටු දැකීම සඳහා එවැනි ගීත අප අපේ ගී තැටි පුස්තකාලය තුළ තබා ගන්නේ නැහැ.

පැරැණි ගීත ප්‍රිය කරන රසිකයින්ට එම ගී තැටි මිල දී ගැන්මට ගුවන් විදුලියෙන් අවස්ථාවක් සලසා තිබෙනවාද?

මේ සියලුම ගීතවල අයිතිය තිබෙන්නේ ගුවන් විදුලියටයි. ගුවන් විදුලියේ සිංහල ගීත නම් සංස්ථාවේ සභාපතිතුමාගේ අනුමැතිය යටතේඛ් ච් සහ කැසට්වලට නිෂ්පාදනය කර විකිණීමට කටයුතු කර තිබෙනවා. ගුවන් විදුලි පැරැණි ගීතවලට තිබෙන්නේ විශාල ඉල්ලුමක්.

ගීත හැරෙන්නට ගුවන් විදුලි තැටි පටි පුස්තකාලයේ අඩංගු වෙනත් සුවිශේෂී තැටි තිබෙනවාද?

තිබෙනවා. මෙහි ඇතුළත් විශේෂ තැටි හැටියට ඓතිහාසික වටිනාකමක් තිබෙන තැටි සඳහන් කරන්න පුළුවන්. හිටපු පැරැණි රාජ්‍ය නායකයින්ගේ, විද්වතුන්ගේ, කලාකරුවන්ගේ දේශන, ඒ කාලේ ගරුතර සංඝයා වහන්සේලා දේශනා කළ පළමු ධර්ම දේ්ශනාවේ සිට තැටි ගත කර තිබෙනවා.

මෙම සම්පත් වෙනත් ගුවන් විදුලි ආයතන සඳහා අවශ්‍ය අයට ලබා ගත හැක්කේ අපෙන් පමණයි. නමුත් මෙය අප දෙන්නේ නැහැ. හේතුව එවන් දේ සංරක්ෂණය කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඉදිරියේදී මෙම සුවිශේෂී අවස්ථා ඇතුළත් කොට වෙළඳ පොලට නිකුත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

සඳ ගමනේ දී කරුණාරත්න අබේසේකර, හරිස්චන්ද්‍ර විජේතුංග වැනි නිවේදකයින් ඒ පිළිබඳ එම අවස්ථාවන් පිළිබඳව කළ සජීවී විස්තර ප්‍රකාශන තැටි මෙන්ම එවකට සිටි බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබූ මොහොතේ සිට කෙරුණු විස්තර විකාශය, අවසන් ගෞරවය සිදු වූ ආකාරය පවා ඇතුළත් තැටි අප සතුයි.

මේවා ශ්‍රවණය කරන විට මනසින් එතැනට ළඟා විය හැකි තරමටම මෙය ආකර්ශණීයයි. මේ හැරෙන්නට 1930 – 40 දශකයන්හිදී ගුවන් විදුලියේ සිටි ප්‍රවීණ ශිල්පීන්ගේ තොරතුරු එක් රැස් කොට සංරක්ෂණය කර තැබීමේ වැඩ පිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක කොට ඇති අතර මෙහිදී එම කලා ශිල්පීන්ගේ ඡායාරූප, ඔවුන් පිළිබඳව පුවත්පත්වල පළ වූ ලිපි, ඔවුන් ඉදිරිපත් කරන ලද වැඩ සටහන්, නිර්මාණ ආදිය ඇතුළත් කෙරෙයි.

එවන් කලා ශිල්පීන් සතු තොරතුරු, ඡායාරූප ආදිය වෙත් නම් ඔවුන්ගේ පවුල්වල අයට එය ගුවන් විදුලියට භාර දිය හැකි බව ද ඔවුන් පවසයි.

මෙවන් දේ සංරක්ෂණය කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ අද දවස පමණක් නොවෙයි අනාගතයයි. තව අවුරුදු තිහක් හතළිහක් වන විට දැනට තිබෙන තාක්ෂණය වෙනස් වන්නට පුළුවන්. මේ දකින සම්පත්වල වර්ගීකරණය මෙයට වඩා වෙනස් වන්නට පුළුවන්. එයට ගැළපෙන ආකාරයට අප අනාගතයට ඉඩ තියලා අදට අපි කළ යුතු කාර්ය භාරය කරගෙන යනවා.

ගුවන් විදුලි සිංහල ගී තැටි පටි පුස්තකාලය පිළිබඳව සඳහන් කළ යුතු දෑ අපමණය. එහි කාර්ය භාරය එතරම් භාරදූර්ය වූ වගකීම් සම්භාරයකි. අප මෙහිලා සඳහන් කළ දෑ සීමිතය.

මෙවන් වූ තොරතුරු ඔබ හමුවට ගෙන එන්නට අපට සහයෝගය ලබා දුන් ගුවන් විදුලි සංරක්ෂණ හා ප්‍රකාශන අංශය භාර උපදේශක කුමාරදාස සපුතන්ත්‍රි මහතාටත් එහි ප්‍රධාන පුස්තකාලාධිපති චන්ද්‍රදාස බණ්ඩාර සහ පුස්තකාල සහායක සනත් මෙන්ඩිස් මහතාටත් අපගේ විශේෂ ස්තුතිය හිමි විය යුතුයි.

සටහන මංජුලා මල්කාන්ති
ඡායා - මාලන් කරුණාරත්න

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Indunil Jayawardhana | Bloggerized by S.L.B.C. Training Institute - ABC | 123, ABC