‘මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි’
ඇසේ මදුර ජීවනයේ, ගීතා නාමු අමා දහරේ’ සවන වැකුණ ගීතයේ මාදුර්ය සිත අමන්දා නන්දයට පත් කරයි. සිතක් පිනවන ගීතයක් නම් ඒ ගුවන් විදුලියෙන් විකාශනය වූ ගීතයක් පමණි. අපගේ පැරැණි ගීත තවමත් මියැදී විනාශ නොවී තිබෙන්නේ එහෙයිනි. බොහෝ දෙනා තවමත් ගීතයේ ප්‍රෞඩත්වයට පැරැණි බවට පෙම් බදිති. අපේකම අපට කියා දෙන සිතේ රිද්මය හඳුනන ඔවුන් සොයා පසුගියදා අපි පියමං කෙළෙමු.
“ඒ සොඳුරු බව අපේකම තවමත් ඒ බිම්හි නොනැසී තිබෙනු දැකීම සතුටකි. ඔබත් මමත් ආදරය කරන ගුවන් විදුලි මහ ගෙදරට අප පිය නැගුවේ ඔවුන් ගේ තතු ඔබට කියන්නට ය. මියුරු සෞම්‍ය, මධුර මනෝහර ගීතයක් නම් ඒ විකාශනය ගුවන් විදුලියැයි අපේ දෙසවන් හඳුනයි. පැහැදිලි නිරවුල් වාග් විලාසය, ප්‍රවෘත්ති නිවේදනයේ ගාම්භීරත්වය අපි හොඳින් හඳුනමු. අපේ ඇත්තෝ අපිට හුරු ය. ඔවුන්ගේ විකාශන හැසිරවීම එදා මෙදා තුර නොඑසේ නම් උපන්දා සිට අපට හුරු ය.
සුවහසක් දනන්ගේ දිවි මඟ හෙළි කළ සරසවි බිමක් වැනි ගුවන් විදුලි මහ ගෙදර සුපෝෂිත නිවේදක නිවේදිකාවන් මඬුල්ලකින් සමන්විත ය. අනුවේදනීය පුවත් මෙන් ම විශ්වාසනීය ලෙස පුවත් ගෙන යාම සඳහා වාර්තා කරන පළ පුරුද්ද ලත්තෝ බොහෝ ය. ගීතය, පුවත, නාට්‍ය, අධ්‍යාපනය, දස දෙස තොරතුරු මේ හැම දෙයක් ම තමකම අනුව ගලපා ගනියි. රැල්ලට හසු නොවී අපේ දරු පරපුරට විටින් විට අපේකම සිහිගන්වයි. මාධ්‍ය රැල්ලේ තවත් එක් වීරයෙක් නොවන්නට උත්සාහ නොදැරුව ද, වීරත්වය හුවා දක්වන්නන්ට වඩා වීරයෙකි.
හතු පිපෙන්නා සේ කොතෙක් ගුවන්විදුලි නාළිකා බිහි වූවත් තවමත් අපේ ගුවන් විදුලි මහගෙදර අපිට අමතක කළ නොහැකි ය. කාලෙන් කාලයට පැමිණෙන ව්‍යාජ වෙළෙඳ රැල්ලට හසු නොවෙමින් අපටම ආවේණික වැඩසටහන් පමණක් ඔවුහු ඉදිරිපත් කරති. වැටීම්, නැගිටීම් අබියස නොසැලී දේශීයත්වය සුරකින මේ ඔවුන්ගේ කතාවයි. ඔවුන් ගැන ඔබ ද දැනගැනීම වටී. ඒ ඔබේත් මගේත් ජාතික ගුවන් විදුලි නාළිකාව බැවිනි. මේ ඔවුන් අපට කිවු කතාවයි.
“මං මේ ගුවන්විදුලියට ආපු හතරවෙනි වතාව. ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමා හඩ්සන් සමරසිංහ මහතා අතීත මතකයන් අවදි කෙළේ ය. පළවෙනි වතාවට මං වැඩ කළ ආයතනයේ සභාපතිවරයා ලෙස එනවිට මගේ හිතට තිබුණේ මහා බරක්. ඒ මුකුත් නිසා නෙවෙයි. මෙතන හිටියේ මගේ හිත මිතුරෝ, මගේ ගුරුවරු, ලස්සනම කතාව කියන්නේ ඒ අය මට සර් කියනවා. මං ඒ අයට සර් කියනවා. හැබැයි කාගෙන්වත් ගැටලුවක් මතු වුණේ නැහැ. අපි හැමෝම එකා වගේ වැඩ කළා. පාන්දරම ගුවන් විදුලියට එනවා. අඳුරේ ගෙදර යනවා.
මං විතරක් නෙවෙයි හැමෝම කැපවීමෙන් වැඩ කළා. කැපවීම හැමෝගෙන්ම ලැබුණ නිසා මහත් ශ්‍රාවක පිරිසකට අපේ හඬ ගෙනියන්න අපිට හැකි වුණා. එවකට හිටපු නිවේදක නිවේදිකාවන් ගේ නම් විතරක් නෙවෙයි. හඬ පවා ජනතා සිත් සතන්වල තැන්පත් වුණා. නම ඇහෙන පමණින් ඒ පුද්ගලයා වෙත ශ්‍රාවක පිරිස් ආකර්ෂණය වුණා. ඒ කාලෙ හැමෝම හිටියේ දැනුම සොයමින් දැනුම ගවේෂණය කරමින්, හැමදාම අලුත් දෙයක් ඉදිරිපත් කරන්න හැමෝටම හැකි වුණා.
එදාට වඩා අද ගොඩක් වෙනස්. ඒ කියන්නෙ තිබුණ පිළිවෙළ එතරම් සුබදායි නැහැ. අපේකම යළිඳු නංවන්න බොහෝ පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා. නිවේදක නිවේදිකාවන් සමඟ වැඩසටහන් නිෂ්පාදකවරුන් සමඟ සාකච්ඡා කරන්න සිද්ධ වුණා. ඇත්තටම කියනවා නම් කවුරුත් ගුවන් විදුලියට දැන්වීමක් දෙන්න අකමැති යුගයක තමයි මං සභාපතිවරයා විදිහට වැඩ බාරගත්තේ. හැමෝම හිටියේ කලකිරීමෙන්. අනාගතය පිළිබඳ දැක්මක් තිබුණෙ නැහැ. ඔහේ වැඩසටහන් කළා විතරයි.
මේ තත්ත්වය යළි ප්‍රතිසංස්කරණය කරන්න අපිට සිද්ධ වුණා. මං හිතනවා මේ අඳුරු කාල පරිච්ඡේදය ඉක්මනින් නිමා කරගන්න අපිට හැකිවෙයි කියලා. “රටම කතා කරයි”, වැනි වැඩසටහන්වලින් යළිත් නැතිවී ගිය ශ්‍රාවක පිරිස මෙන් ම අලුත් ශ්‍රාවක ප්‍රජාවක් නතු කරගන්නත් හැකි වුණා. නටන දඟලන ගීතය වෙනුවට සුභාවිත ගීතයේ මියුරු බව යළිඳු ජනතාව ග්‍රහණය කරගන්න යොමු වුණා. වැඩසටහන් වල ක්‍රමික බව, ගීත තේරීමේ උචිත බව මේ හැම දෙයක් ගැන අපේ කාර්යය මණ්ඩලය සැලකිලිමත් කරන්න මම උත්සාහ දරනවා.
ජාතික ගුවන් විදුලියේ ඵලදායිතාව පිළිබඳ එහි මුදල් අධ්‍යක්ෂ ලලිත් හෙට්ටිගේ මහතා කීවේ මෙබන්දකි. “ඉස්සර ගුවන් විදුලියටම බලපත්‍ර ගාස්තුව එකතු කරගැනීමේ හැකියාවක් තිබුණා. පසුව ඒ තත්ත්වය නැති වුණා. ඊට පස්සේ රජයෙන් යම් අරමුදලක් අපිට ප්‍රදානය කළා. හැබැයි මේ අරමුදල එන්න එන්නම අඩුවුණා. ඒ නිසා අපේ සැලැසුම් ක්‍රියාත්මක කළ නොහැකි වුණා. මේ තත්ත්වය මත අපි පසුගාමී වුණා. ඒත් දැන් අපි ටිකෙන් ටික ලාබ අරමුණු සොයා පියමං කරනවා. ඉස්සරට වඩා වෙළෙඳ දැන්වීම් අපිට ලැබෙනවා. නව්‍යකරණයත් සමඟ අපිත් ඒ දෙසට අවනත වුණා. 2011 අවසානය වන විට ඇස්තමේන්තු ගත ලාභය මිලියන 40ක් අපේක්ෂාවෙන් ඒ අනුව වැඩ සටහන් පෙළගැස්වීමත් ආරම්භ කර හමාරය”.
ගුවන් විදුලි සංස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වමින් “වර්තමානයේ ජාතික ගුවන් විදුලියෙන් වැඩසටහන් පෙළ ගැස්මක් නවතාවයෙන් ඉදිරිපත් කරනවා. ‘වෙළෙඳ පොළ’ මගින් වෙළෙඳ පොළ මිල ගණන් වලට බලපෑමක් කරලා තියෙනවා.
ඒ වගේ අපේ සාරධර්ම සංගීතය ගැන හැඟීමක් ඇති කරන්න අපි මේ දවස්වල කටයුතු කළා. සරල ගී පරීක්ෂණ අලුත් ගීත නිර්මාණය කරන්න නැවතත් පටන් අරගෙන දරුවන්ට අවශ්‍ය ආකාරයට ගුවන් විදුලි වැඩසටහන් මෙහේවන්න අපි පටන් ගත්තා. මෙහිදී වැඩසටහන් නිර්මාණය කරන්නෙත් දරුවන්. ඒවා මෙහෙයවන්නෙත් දරුවන්. අවශ්‍ය පහසුකම් අපි ලබාදෙනවා විතරයි. මෙයින් සිදුවෙන්නේ දරුවන් සන්නිවේදනයට හුරු කිරීමක්.”
ගුවන් විදුලිය පිළිබඳ එහි වෙළෙඳ සේවා අධ්‍යක්ෂ මයුරි අබේසිංහ මහත්මිය පැවැසුවේ “ආයතනයක් අනාගතයට නම් වෙළෙඳ අංශය ශක්තිමත් කළ යුතුයි. මෙහිදී අපි වැඩසටහන් ප්‍රතිනිර්මාණය කළා. ඉස්සරත් ‘ගීතයෙන් ගීතය’ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළා. අලුත් ගායක ගායිකාවන් රටටම හඳුන්වා දුන්නා. තරු අතරට තරුවක් අපේ අලුත්ම වැඩසටහන. මෙහි අවසාන තරගය දෙසැම්බර් 29 වෙනිදා පවත්වනවා. මේ වැඩසටහනට සහභාගි වෙන්නේ නීතිඥවරු, වෛද්‍යවරු වැනි වෘත්තිකයන්, රටේ උසස් තල වල සිටින පුද්ගලයන් කලාවට සංගීතයට තිබෙන ඇල්ම දක්ෂතාව පෙන්නුම් කිරීම මෙහි අරමුණක්”.
ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහතා තම අංශය ගැන පැවැසුවේ මෙවැනි අදහසකි. “අපේ අරමුණ නිවැරැදි ප්‍රවෘත්ති කඩිනමින් ජනතාවට ලබාදීමයි. තවමත් ජනතාව අපිත් එක්ක ඉන්නවා. රජයේ නියෝජනයක් වුණත්, මහජන විශ්වාසනීය බව සුරැකීමට අපි හැමදාමත් පෙරමුණ ගන්නවා. භාෂාව හැසිරවීම මගින් අපි අපේ අනන්‍යතාවන් ඔප්පු කරනවා. තවමත් හොඳ ප්‍රවෘත්තියක් නම් ගුවන් විදුලිය කියන තරමට ඔවුන් අපිත් එක්ක ඉන්නවා. ඒ සෑම අංශයකම ප්‍රගතිය ඔවුනොවුන් ආයතනික හැඟීමෙන් වැඩකරන නිසාවෙනි.
Silumina 2011 - 12 - 25