Monday, May 14, 2012

මගේ මාධ්‍ය ජීවිතයේ මවත් පියත් ගුවන් විදුලියයි.


මගේ මාධ්‍ය ජීවිතයේ මවත් පියත් ගුවන් විදුලියයි. ඔබ දන්නව ද තව අවුරුදු දෙකකින් මම ගුවන් විදුලියෙන් සජීවව ක්‍රිකට් විස්තර ප්‍රචාරයේ යෙදිලා අවුරුදු පනහ පිරෙනවා.
හැබෑට?
මම පටන්ගත්තේ 1963 දී. ඒ ආනන්ද - නාලන්ද ක්‍රිකට් තරගයෙන්. පළමු දින පළමු පන්දුවේ සිට දෙවැනි දින අවසාන පන්දුව දක්වා මම ක්‍රිකට් තරගය සජීව ව ඉදිරිපත් කළා.
ලංකාවේ ද තරග පැවැත්වූ පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේදී ඔබේ කටහඬ අපිට ඇහුණේ නැහැ. ඒ මොකද?
ඒ තරගාවලිය ආවරණය කළේ පෞද්ගලික එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවක්. මගේ මාධ්‍ය ජීවිතයේ මව, පියා දෙන්නම ජාතික ගුවන් විදුලිය කියලා මම ඔබට කිව්වනේ. ඉතිං මගේ බැඳීමක් තිබෙනවා, ජාතික ගුවන් විදුලියට විතරක් සේවය කරන්න. මා සේවය කරන අනිත් ආයතනය තමයි ජාතික රූපවාහිනිය. කොච්චර මුදල් දුන්නත් මම පෞද්ගලික එෆ්.එම්. නාලිකාවලට යන්නේ නැහැ.
ඒක මගේ ප්‍රතිපත්තියක්. ලෝක කුසලාන තරගාවලියේදී මට ආරාධනා ලැබුණා. නොලැබුණා නෙමෙයි. ඒත් මා එය තරයේ ප්‍රතික්ෂේප කළා.
අද ඔබ පෞද්ගලික එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවලට එරෙහිව කතා කරනවා. නමුත් ඔබනේ අපේ රටට  හඳුන්වල දුන්නේ ‘සිටි එෆ්.එම්..
ඔව්. අද සමහර පෞද්ගලික එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාවලට කන්දෙන කොට සමහරු කියනවා ඇති, ඔය එෆ්.එම්. රේඩියෝ පටන්ගත්තු එකාට හෙණ ගහන්න ඕනෑ කියලා.

පාලිත, ප්‍රේමකීර්ති සමඟ උඩුගුවනේ සිට
ඔව් ඇත්ත. මම තමයි මේකේ පුරෝගාමියා. මම තමයි ‘සිටි එෆ්.එම්.’ සේවයේ මුල් ම අධ්‍යක්ෂවරයා. හැබැයි මම නොකළත් මේක කවුරු හරි පටන් ගන්නවා. හැබැයි අපි ‘සිටි එෆ්.එම්’ පවත්වාගෙන ගියේ බොහොම ශීලාචාර විදිහට.
දිවංගත ගාමිණී ෆොන්සේකා සිනමා කලාකරුවාණන් මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කළා. මමත් එහෙමයි. මාව කාටවත් සල්ලිවලට ගන්න බැහැ.
මම දැන් මේ ජීවිතේට පුරුදු වෙලයි ඉන්නේ. ඔබ දැකලා තියෙනවනේ මම යන්නෙ එන්නේ බස්වල. එහෙම යද්දී සමහරු අහනවා අද සර්ගෙ කාර් එක ගැරේජ් එකේද කියලා. මා දන්න තරමින් ඔබ ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රීඩා පිට්ටනියට නොගොස් හුදෙක් රූපවාහිනි තිරය බලාගෙන ක්‍රිකට් විස්තර ප්‍රචාරයේ යෙදෙන්නේ නැහැ.
ගුවන් විදුලියෙන් දුන් සම්මානය අර්ජුන අතින් පිළිගනිමින්
ඔව්. එහෙම කළොත් ඒක වංචාවක්. හොරකමක්. ඔය දේ කරන්න කියලා ගුවන් විදුලිය එක් අවස්ථාවකදී මට කිව්වා. මම එය තරයේ ප්‍රතික්ෂේප කළා. මොකද, ඒක ආචාර ධර්මවලට පටහැනියි. එතනදී බොරු කියන්න සිද්ධ වෙනවා. එහෙම බොරු කිව්වම වෙන්නේ විශ්වාසය බිඳෙන එක.
අනික ක්‍රිකට් විස්තර ප්‍රචාරයේදී ස්වාධීනත්වයක් ඉතා වැදගත් නේද?
අනිවාර්යයෙන් ම වැදගත්. දැන් බලන්න ටෝනි ග්‍රෙග්. ලංකාව ගහන තරගවලදී එයා ලංකාවට පක්ෂග්‍රාහියි. මොකද එයා සංචාරක මණ්ඩලයේ කොන්ත්‍රාත්තුවක් කරනවා. එහෙම කොකු තියාගන්න නරකයි.
අද ක්‍රිකට් විස්තර ප්‍රචාරයත් වෙළෙඳ දැන්වීම්වලට යටවෙලා. ක්‍රීඩකයෙක් දැවී යන මොහොතක පවා දැන්වීම් ප්‍රචාරය නිසා එහි විස්තරය ඉදිරිපත් නොකෙරුණු අවස්ථා තියෙනවා.
ඒක කනගාටුදායක දෙයක්. අද බුදු බණටත් අනුග්‍රාහකයෝ ඉන්නවා. බුදු හාමුදුරුවෝ ආවත් බුදු හාමුදුරුවොත් විකුණගෙන කන්න පුළුවන් නම් ඒකත් අපේ අය කරයි.
අද අපේ ක්‍රිකට්වල විශාල අර්බුදයක් දක්නට ලැබෙනවා. ගහන ගහන තරග පරදිනවා. පිට රට ගැහැව්වත් එකයි  අපේ රටේ ගැහැව්වත් එකයි. ක්‍රිකට් විස්තර ප්‍රචාරයේ අවුරුදු පනහකට ආසන්න අත්දැකීම් ඇති ඔබ මේ යථාර්ථය විවරණය කරන්නේ කොහොමද?
ප්‍රධාන හේතුව IPL එහෙමත් නැත්නම් 20/ 20 තරග. මේක තනි වචනයකින් කිව්වොත් ඛේදවාචකයක්. තව ඉස්සරහට මේක තවත් දරුණු වෙනවා. මගේ පිළිගැනීමට අනුව නම් 20/20 තරග කියන්නේ මහා රස්තියාදු කාර ක්‍රීඩාවක්.
ඔබට 20/ 20 තරග ලැබුණොත් ඔබ ඒවට විස්තර ප්‍රචාරයෙන් එක්වෙන්නෙ නැද්ද?
නැහැ.
මොකද්ද 20/20 තරගවල තියෙන වැරැද්ද?
ක්‍රිකට්වලට තියෙනවා බේසික්. ඒ කියන්නේ මූලධර්ම. 20 /20 තරගවල ඒවා නැහැ. පිත්ත අල්ලන හැටි; පන්දුවට පහර දෙන හැටි සියල්ල වෙනස් වෙලා. අපේ රටේ පාදයක් ඉදිරියට තබා ‘ඔන් ඩ්‍රයිව්’ පහරවල් ගහන්න දක්ෂතම ක්‍රීඩකයා තමයි මහේල. අද ඔහු ගහන්නෙත් ක්‍රිස් එකට උඩ ඉඳන්. ඔහුගේ පාද චලනයක් නැහැ. 20 /20 තරගවලින් වෙන ලොකුම හානිය තමයි වෙනත් තරගවලදී දිගු ඉනිමක් ක්‍රීඩා කරන්න බැරිවීම. ඒකනේ පසුගිය දෙවැනි ටෙස්ට් තරගයේ එක ඉනිමකදී ඕවර් 24 කදී ලකුණු 120 ගණනකට අපේ මුළු කණ්ඩායමම දැවී ගියේ.
අනික 20/20 තරගවලදී වගෙ පොල් අඩි ගහලා කොහොමද ටෙස්ට් තරග දිනන්නේ. ඒවා ටෙස්ට් ක්‍රිකට් නෙමෙයි පොල් අඩි ක්‍රිකට්. අපේ ක්‍රිකට් නායකයා කියනවා එයා තමාගේ ශෛලිය වෙනස් කරන්නෙ නැහැ කියලා. ඒක මෝඩ කතාවක්. ඔහුට එහෙම ගහන්න පුළුවන් තමන්ගේ ක්‍රීඩා සමාජයකට ගහනවා නම්. නමුත් ඔහු ක්‍රීඩා කරන්නේ ලංකාව වෙනුවෙන්. සතුරා බලවත්නම් පහර දෙන ක්‍රමය වෙනස් කිරීම තමයි බුද්ධිමත් ක්‍රියාව වෙන්න ඕනෑ.
ජනාධිපතිතුමාට පාලිතගේ පොත පිළිගන්වමින්
ඉස්සර ‘සිනාසෙන ඝාතකයා’ කිව්වේ විවියන් රිචඩ්ස්ට. ඊට පස්සේ තමයි මුරලිට ඔය නම පට බැදුණේ. මුරලි ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නෙක්. ඔහුගේ කඩුලු 800 මගෙ ජීවිත කාලය තුළදී නම් කවුරුත් බිඳ දමන එකක් නැහැ. මුරලි විතරක් නෙමෙයි තව ටික කලෙකින් සංගක්කාරයි, මහේලයි, ඩිල්ෂානුයි විශ්‍රාම ගියොත් අපේ ක්‍රිකට් කණ්ඩායම ලොකු අමාරුවක වැටෙනවා. කවුද ඒ හිඩස - රික්තය පුරවන්නේ? පේනතෙක් මානයක කවුරුවත් නැහැ. කණ්ඩායමෙත් නැහැ. ක්ලබ්වලත් නැහැ. පාසල් මට්මමෙනුත් නැහැ.
මීට අවුරුදු දෙකක විතර කලින් මා ඔබ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී අපේ රටේ බිහිවුණු හොඳම ක්‍රිකට් නායකයා කවුදැයි මා ඔබෙන් ප්‍රශ්න කළා. ඔබේ පිළිතුර වුණේ බන්දුල වර්ණපුර. මට එදා අහන්න බැරිව ගියා වර්ණපුරයෙන් පස්සේ කවුද කියලා.
මට තුන් දෙනෙක් නම් කරන්න පුළුවන්. ඔවුන් තුන්දෙනාම එකිනෙකාට වෙනස්. එක් කෙනෙක් අර්ජුන. ඔහුට දැඩි පෞරුෂයක් තිබුණා. එදා මුරලි වෙනුවෙන් මැදිහත්වීමෙන්ම එය අපි දැක්කා. එදා අර්ජුන, මුරලි වෙනුවෙන් පෙනී නොසිටින්න මුරලි ඉවරයි. මං හිතන්නේ ඒකම ඇති ඔහුගේ විශිෂ්ටත්වයට. අර්ජුන සුද්දාට බය වුණේ නැහැ. ඔහු නියාලු වෙන්න කැමැති නැහැ. ඊළඟට මහේල ජයවර්ධන. ඊළඟට සංගා. මේ දෙන්නම කරට කර ඉන්නවා. මහේලට තිබෙනවා සංගට නැති ගුණයක්. ඒ ඉවසීම; කලබල නොවීම. ඒ අතින් ඔහු සංගාට වඩා තරමක් ඉදිරියෙන් ඉන්නව. සංගාට ඕනෑ ජය විතරයි. කුල්ලෙන් හි මල්ලෙන් හරි දිනුම විතරයි ඕන. ඒ සඳහා ඔහු තම උපරිම ශක්තිය යොදනවා.
ඔබට අනුව ලෝකයේ ඔබ දුටු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?
විවියන් රිචඩ්ස්. ඒ තරම් ලස්සන අලංකාර පිති හරඹයක් මම දැකලා නැහැ. ඩොන් බ්‍රැඩ්මන් සෙල්ලම් කරනවා නම් මම දැකලා නැහැ.

සුනිල් මිහිදුකුල

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Indunil Jayawardhana | Bloggerized by S.L.B.C. Training Institute - ABC | 123, ABC